පට්ඨාන ධර්ම සභාවේ 65 වන වාර්ෂික සම්මේලනය 2026.04.25 දින සවස 2.30ට කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ලෝටස් ශාලාවේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත, සාහිත්‍ය ශූරී, අතිපූජනීය මකුළෑවේ විමල මහා නායක ස්වාමීන් වහන්සේ මූලාසනය හොබවන ලදී. ප්‍රධාන ආරාධිත ලෙස මියන්මාරයේ ගෞරවනීය තානාපතිතුමිය සහභාගී වූවාය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය මැද්දගම්පිටියේ විජිතධම්ම ස්වාමීන් වහන්සේ විසින් “යමක ප්‍රකරණයේ ව්‍යුහය, ක්‍රමවේදය හා දාර්ශනික වැදගත්කම” යන මාතෘකාව යටතේ විශේෂ දේශනයක් ද සිදු කළහ.
ඉදිරි වර්ෂය සඳහා තෝරා පත්කරගත් නව නිලධාරී මණ්ඩලය ප්‍රකාශයට පත් කිරීම ද, පට්ඨාන ධර්ම සභාවේ තෙවසරක දහම් පාඨමාලා හදාරා සාමාර්ථ ලබාගත් ශිෂ්‍යයන් වෙත “ආභිධම්මික” ගෞරව නාම ප්‍රදානය ද මෙහිදී සිදු කරන ලදී.
අසිරිමත් පට්ඨාන ධර්ම සජ්ජායනා පූජ්‍ය මහෝත්සවය අනුරාධපුර මහමෙවුනා උයනේ වැඩසිටින ජය ශ්‍රී මහා බෝ සමිඳු අභියස රතනාගරයෙහි දී ජුනි මස 19, 20 සහ 21 යන දිනයන්හී 52 වෙනි වරටත් ධම්මාලම්බනශ්‍රීයෙන් පැවැත්වේ.
ලොවුතුරා බුදුරජානන් වහන්සේ බුදුව සතරවන සතියෙහි ශ්‍රී මහා බෝ මැඩට වයඹ දෙසින් වර්තමාන රතනඝර චේතිය පිහිටි තැන වැඩ හිඳිමින් සතියක් මුළුල්ලේ ධර්මය මෙනෙහි කල බව සඳහන් වේ. මෙසේ ධර්ම සම්මර්ශනයෙහි යෙදුනු තථාගතයන් වහන්සේ පොසොන් පොහොය ආසන්නයේදී අනන්ත නය සමන්නාගත සමන්ත පට්ඨාන ධර්මය මෙනෙහි කල බවත් මෙම ගාම්භීර වූ ධර්මය මෙනෙහි කිරීමේදී ශ්‍රී ශරීරයෙන් සවනක් ඝන සම්බුද්ධ රශ්මි මාලාව විහිදුනු බවත් දැක්වේ. පොසොන් සතියේදී සිදු වූ මෙම අසිරිමත් සිදුවීම සිහිපත් කරමින් පට්ඨාන ධර්ම සභාවේ ගරු සම්පාදක ගෞරවාර්හ යාගොඩ ධර්මප්‍රභ ස්වාමින්ද්‍රයන් වහන්සේ එම උතුම් අවස්ථාව සිහි ගන්වමින් ගාම්භීර වූ පට්ඨාන ධර්මය පුදනු පිණිස මහා පින්කමක් සිදු කළ යුතුයැ යි තීරණය කළහ. ඒ අනුව 1962 වර්ෂයේ දී කොළොඹ මාලිගාකන්දේ මහාබෝධි අග්‍රශ්‍රාවක විහාරයේ සිට සධාතුක කරඬුව හා විශේෂයෙන් සැකසු පට්ඨාන රිදී පොත් වහන්සේ වැඩමවාගෙන අත්‍යාලංකාර රිය පෙරහරකින් අනුරාධපුර ශුද්ධ නගරය වෙත ගමන් ආරම්භ කළේ එම උතුම් අදහස මල්පල ගන්වමිනි.
එහිදී ජය ශ්‍රී මහා බෝධි රාජයාණන් වහන්සේ අබියස පිහිටි සත්රුවන් සතිය නිරූපණය කරන රතනඝාර විහාරය විදුලි බුදුරැසින් ඒකාලෝක කොට ශතාධික මහා සංඝරත්නය සහ දහස් ගණන් සැදැහැති බොදුනුවන් සමග පාට්ඨාන ධර්ම සජ්ජායනා, පට්ඨාන විස්තර දේශනා ආදිය සහිතව අසිරිමත් මහා පින්කමක් සිදු කළ බව ධර්ම සභා ඉතිහාසයේ සඳහන්ව ඇත.
එසේ ආරම්භ කළ මෙම උතුම් පිංකම මේ දක්වා අකණ්ඩව පනස් එක් වසරක් මුළුල්ලෙහි සෑම පොසොන් සතියක් තුළම ඉතා උත්කර්ෂවත් ව ගාම්භීරාකාරයෙන් පවත්වා ගෙන එන බව පවසන්නේ මහත් අභිමානයෙනි. මෙවැනි උතුම් පිංකමක් නොනැසී පවත්වාගෙන යාමට කටයුතු පිලිවෙලකොට තබා අපවත් වී වදාළ ආභිධම්මික වාගීශ්වර අතිපූජනීය යාගොඩ ධර්‍මප්‍රභ නායක ස්වාමින්වහන්සේට සහ පරළොව සැපත් සියලු දෙනාට මෙම කුසල බලයෙන් සුවසේ ධර්මාවබෝධය වේවා !
*** ගෞතම සිද්ධාර්ථ කුමරුන්ගේ ඉපදීම, සම්මා සම්බුද්ධත්වය සහ අප මහ ලොවුතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය යන අවස්ථා තුන නිමිතිකරගෙන වෙසක් පුර පසළොස්වක පෝ දින සීල, භාවනා වැඩසටහන දවස පුරා පැවැත්වේ.
