පට්ඨාන ධර්‍මය මෙතරම් වැදගත් වන්නේ ඇයි ?

පච්චය ධර්‍මය

බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම ප්‍රඥාවෙන් තේරුම් ගත යුතුය.මෙම ධර්‍මය ඉගෙන ගැනීම, දේශනා කිරිම සහ ප්‍රඥාවෙන් අවබෝධ කරගැනීම ඉතාමත් වැදගත්ය. බුද්ධ ශ්‍රාවකයා, කාමසුකල්ලිකානු යෝගය සහ අත්තකිලමතානු යෝගය යන අන්ත දෙක අතහැර මජ්ජිමා පටිපදා යන මැදීම් පිළිවෙත අනුගමනය කරමින් අවසාන ඉලක්කය වන සදා සැප ඇති අජර අමර අමෘත මහා නිර්වාණය වෙත යොමුවිම වඩාත් වැදගත් වේ.

සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු අහ තැන්පත් මහ රහතන් වහන්සේලා විසින් අප දැන් පරිශීලනය කරන ත්‍රීපිටකය ග්‍රන්තනය කරණ ලදී. භික්ෂු සහ භික්ෂුණින් වහන්සේලාගේ විනය නීති මාලාව අන්තර්ගත වී ඇත්තේ විනය පිටකයේය. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සියලු සූත්‍ර දේශනා සූත්‍ර පිටකයේ අන්තර්ගත ය. මෙහි අඩංගු සූත්‍ර දේශනා “වොහාර දේශනා” යයි සඳහන් වන්නේ, ලෝක සම්මත ඉගැන්වීම බැවිනි.

අභිධර්‍ම පිටකය තුල ”පට්ඨාන ධර්‍මය” සහිත ”පරමාර්ථ ධර්‍මය දේශනා” අන්තර්ගතය. අභිධර්‍මය පිටකයෙහි අඩංගු නාම / රූප පරීක්ෂණය, මිනිසා යන සත්වයාගේ ව්‍යාකූල සංකීර්ණ යන්ත්‍රය යනු කුමක්දැයි විභාග කර දක්වමින්, සත්වයාගේ ඉපදීම සහ මරණය සවිස්තරව විග්‍රහ කර දක්වයි. මෙම සංකීර්ණ විග්‍රහය සැම දෙයකම පැවැත්ම, ඇති සැටියෙන් දැකීමට ඉවහල්වේ. මෙම දර්ශනය පුළුල් ලෙස විග්‍රහ කර ඇතත්, වඩාත් වැදගත්වන්නේ ධර්‍මය භාවිතා කරමින් එහි තුල හැසිරෙමින්, ප්‍රඥාවෙන් අවබෝධ කරගැනීමියි.

පට්ඨාන ධර්‍මය මෙතරම් වැදගත් වන්නේ ඇයි ?

මහා කාරුණිකවූ සම්මා සම්බුදුරජාණන්වහන්සේ, සම්බුද්ධත්වයෙන් සත්වන දින රාත්‍රී යාමයේ නිර්මාණවාදය හෙවත් මැවීම යන ප්‍රශ්නය වෙත අවධානය යොමුකළ සේක. සත්‍ය වශයෙන්ම මේ සියලු සත්වයෝ සහ ඔවුන්ගේ ඉරණම සමග මෙම විශ්වය කවුරුන් විසින් මවන ලද්දක්ද ?

උන්වහන්සේගේ සම්මා සම්බුදු ප්‍රඥා ඇසින්ම දුටු ලෙස මිනිසා සහ සත්වයාගේ ඉපදීම සමග නිමක් නැති පීඩනයට ලක්වෙමින්, ලෙඩවෙමින්, දිරාපත්වෙමින් ඒ භවය මරණයෙන් කෙළවරවී නැවතත් වෙනත් භවයක හෝ මෙවැනිම ඉපදීමකට ලක්වී මෙම ක්‍රියාවලියම උරුම කරගෙන සියලු ලෝක සත්වයෝම භවයේ සැරිසරමින් කෙළවරක් නැති ගමණක දෝලනය වන අයුරු සම්බුදු ඇසින් දුට සේක.

මෙම ක්‍රියාදාමය, ත්‍යාගශීලී, හිතකාමී මැවුම්කරුදෙවි කෙනෙකුගේ වගකීමක නිර්මාණයක් යන මතය පිලිඹද තදබල සැකයක් උන්වහන්සේට ඇතිවිණ. නමුත්, උන්වහන්සේගේ දවස සිටි දාර්ශනිකයන් සහ විවිධ ආගමික ගුරුවරුන්ගේ සොයාගැනීම වුයේ සියලු සත්වයන් සමග විශ්වය මෙවැනි නිර්මාණකාරී දෙවි කෙනෙකුන් වන ඊශ්වර සහ බ්‍රහ්මයෙකුගේ මැවීමක් ලෙස නිර්මාණයවී, පෝෂනයවෙමින් දරා සිටින බවය. එම නිසා උන්වහන්සේගේ බුදු නුවනින් මෙම කාරණය පැහැදිලි කරගැනීම උන්වහන්සේට අතිශයෙන්ම වැදගත් වූද ප්‍රමුඛත්වයෙහි ලා සැලකියුතු වූද විෂය විය. මෙම විෂය පිළීඹඳව උන්වහන්සේ ලබාගත් දැණුම සහ දර්ශණය නම් විශ්වය පමණක් නොව, සියල්ල අභිබවා, එකම දෙයක්වත් අතනොහැර, සෑම සියළු දෙයකම අන්තර්ගත ඉතා කුඩාම මූලධාතුවක්ම ද, සෑම පදාර්ථයක්ම ද, සංයෝගයක්ම ද යන විශ්වයේ පවතින සියලුම කුඩා අංශුව තෙක් සහ සත්වයන්ගේ චිත්ත චෛතසිකයන් වන වේදනා, සංඥා, සංඛාර, මනසිකාර, සංකල්ප, අරමුණු, උද්වේගය, තෘෂ්ණාව ඇතිවන්නේ හේතුව සහ ඵලය යන අන්නොන්‍ය ක්‍රියාවළිය මත පදනම් වීමෙන් යන්නයි.


මෙම ස්වාභාවික සංසිද්ධිය “පටිච්ච සමුප්පාදය” ලෙස උන්වහන්සේ නම් කළසේක

මේ අනුව, එක් දෙයක ක්‍රියාවළිය හේතුවෙන් ඇතිවන තව දෙයක්, වෙනස් වෙමින් පැවත නැතිවීම යන ඵලය බිදී ගොස්, එයින් ඇතිවන හේතුවෙන් වෙනස් වෙමින් ඇතිවන ඵලය නැවත නැවත බිදී යන බව බුදුරජාණන් වහන්සේ ලද අවබෝධයෙන් දුටු සේක. .එක් දෙයක්, තව දෙයක ඇතිවීමට හේතුවීම සංස්ඛාර වන්නේය. මෙම ක්‍රියාකාරිත්වය කිසිසේත් ම් සරල ක්‍රියාදාමයක් නොව, අතිශය සංකීර්ණ, ව්‍යාකූල සහගත එකක් ය. එසේ හෙයින්, බුදුරජාණන්වහන්සේ, “පච්චය” යන මාතෘකා පාඨය යටතේ දක්වා තිබෙන පට්ඨාන පෙළ පොතේ සඳහන් වී ඇති පරිදි මේ ක්‍රියාදාමය “සුවිසි ප්‍රත්‍ය” යයි ක්‍රම 24 කට ගණනය කොට විස්තර කළ සේක. මෙය, අන්නෝන්‍ය සංසිද්ධිය මත සිදුවන ක්‍රියාදාමයක් ලෙස අපගේ ජීවිතයේ මනෝමය ක්‍රියාදාමයේ අත්දැකීම් වලට සුවීශේෂී අවධානයක් යොමුකරමින් නිර්දේශ කළ සේක.



භාවනා වැඩසටහන

කොළඹ 05, පට්ඨාන ධර්ම සභාවේ ගරු අධ්‍යක්‍ෂ පූජ්‍ය කොරතොට වෙස්සභු ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් මෙහෙයවනු ලබන භාවනා වැඩසටහන සැම සතියකම අඟහරුවාදා දින ප. ව.3.00 සිට 6.00 දක්වා යක්කල, බෝගමුව, අලුත්ගම, බෝධිග්‍රාම භාවනා මධ්‍යස්ථානයේ පැවැත්වේ.

“නිවන සමීපයට” යන තේමාව යටතේ පැවැත්වෙන භාවනා පුහුණු වැඩස
ටහන, සාම සතියේම බදාදා දින උදෑසන 8.30 සිට සවස 4.30 වන තෙක් පට්ඨාන ධර්‍ම සභාවේ පැවැත්වේ.

අරමුණ - යෝගාවචරයා (නිවන සොයන්නා ) පහත සඳහන් පෙළගැස්මට ලක්වේ.

  • ශික්ෂාපද අනුගමනය කරමින් ඉදිරියට යායුත්තේ, අකුසලයෙන් බැහැරව මේ මොහොතේ පැහැදිලි අවධානයෙන් යුතුව “මේ දැන්” සිත, කය, වචනය මෙහෙයවීමෙන් පහළවන චේතනා අකුසලයෙන් මුදවා ගැනීමට “චතු පාරිශුද්ධ ශීලය” අනුගමනය කරමින් ජීවිත රටාව සකසා ගැනීමිටයි.

    • ප්‍රාතිමෝක්ෂ සංවර සීලය – ගිහි පැවිදි දෙපක්ෂයම තම ජීවිත පැවැත්මෙන් අන් කිසිවෙකුට කිසිදු හානියක් හෝ බාධාවක් ඇති නොවන පරිද්දෙන් හැසිරීම
    • ඉන්ද්‍රිය සංවර සීලය – ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ඉන්ද්‍රිය සය සංවර කරගැනීම
    • ආජීව පාරිශුද්ධ සීලය – පිරිසිඳු ජීවිත පැවැත්මක් සකසා ගැනීම
    • ප්‍රත්‍ය සංනිශ්‍රිත සීලය – චීවර / ඇඳුම්, පිණ්ඩපාත / ආහාර, සේනාසන / ගෙවල්, ගිලානෝප්‍රත්‍ය /බෙහෙත් යන සිවුපසයේ ලද පමණින් සතුටුවීම
  • සමථ විදර්ශණා යන චිත්ත විශුද්ධිය ගොඩ නගා ගැනීම පිණිස, දහම් පත පොත පරිශීලනයෙන්, ධර්ම දේශනාවලට සවන්දීමෙන්, ධර්ම සාකජ්චාවලට සහභාගිවීමෙන්, අභිධර්මය පිලිබඳ පොත් කියවීමෙන් සහ අභිධර්මය ඉගෙනගැනීමෙන් යනාදියෙන් ලබා ගන්නා ශුතමය ප්‍රඥාව ඵලදායි ලෙස උපයෝගී කරගනීමින් සමථ විදර්ශණා යන මානසික සංවර්ධනය තුලින් චිත්ත විශුද්ධිය කරා එළැඹ ඉදිරියට යන මග පෙන්වීම.
  • මනස දියුණු කරගැනීමෙන් ලැබිය හැකි චිත්ත ඒකාග්‍රතාවයට පත් යෝගාවචරයාට සය වැදෑරුම් පුද්ගල භාවනා කර්මස්ඨාන වලින් එක් එක් පුද්ගලයාට ගැළපෙන කර්මස්ථානය උපයෝගී කරගෙන චිත්ත සංවර්ධනය ස්ථාපනය කර ගැනීම සඳහා මග පෙන්වීම.
  • යෝගාවචරයා ආර්ය අශ්ඨංඝික මාර්ගයෙහි අකණ්ඩව පිහිටා සීල, සමාධි, ප්‍රඥා යන පරිපූර්ණ බෞද්ධ පදනම තුල ගමන් කිරීමට අවැසි උපදෙස් ලබා දෙමින් යොමු කරවීම.
  • සියළු බෞද්ධයන්ගේ පරම අභිලාශය වන මගඵල අවබෝධයෙන් නිර්වාණය සාක්ෂාත් කරගැනීම පිණිස භික්ෂු / ගිහි භාවයෙන්ම මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම හැකිවන පරිදි යෝගාවචරයාට මග පෙන්වීම.

මණ්ඩලය

සද්ධර්ම කීර්ති ශ‍්‍රී ත‍්‍රිපිටකාචාර්ය ගෞරවනීය පූජ්‍යපාද කොරතොට වෙස්සභූ ස්වාමීන්ද්‍රයන් වහන්සේ

බුරුම දේශයේ රැන්ගුන් නුවර එවකට බිහිව තිබූ සතිපට්ඨාන සහ විපස්සනා භාවනා මධ්‍යස්ථාන සිය ගණනකට පෙර ආරම්භ කරන ලද “සාසනයීත්” භාවන මධ්‍යස්ථානයෙ හි නිර්මාතෘවරයා මෙන්ම ප්‍රධාන අනුශාසක වරයා වුද, අසහාය ගුරු කර්මස්ථානාචාර්ය මහා පන්ථ අෂින් සෝභන මහාසි තෙරුන්වහන්සේ වෙතින් භාවනාව පිළිබඳව අධ්‍යාපනය ලබා, අභිධර්මය සහ පටටාන ධර්මය ඉතා විශිෂ්ට ලෙස ප්‍රගුණ කළ අපවත් වී වදාළ අති පූජ්‍ය යාගොඩ ධර්මප්‍රභ ස්වාමින්වහන්සේ ගේ ශිෂ්‍ය නමක් වන පූජ්‍ය කොරතොට වෙස්සභු ස්වාමින්වහන්සේ

භාවනා සහ බෞද්ධ උපදේශක යූ. කේ.අදාසුරිය මහත්මා – ඩිප්ලෝමා- මානව ශාස්ත්‍රීය / තුලනීක්ෂණය

මෙම වැඩසටහන මෙහෙයවනු ලබන්නේ, පුද්ගලික අංශ විශ්‍රාමික ප්‍රධාන විධායක නිලධාරියකු ලෙස සේවාවෙන් සමුගෙන විශිෂ්ඨ ගණයේ ස්වාමින්වහන්සේලා වන අපවත් වී වදාළ අතිපූජ්‍ය කඩවැද්දුවේ ජිනවංශ නා හිමිපාණන්වහන්සේ, අපවත් වී වදාළ අතිපූජ්‍ය වලානේ අමතගවෙශී හිමිපාණන්වහන්සේ සහ මහා කම්මට්ඨානාචාර්ය අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන්වහන්සේ සහ පට්ඨාන ධර්ම සභාවේ වර්තමාන අධ්‍යක්ෂවර සහ යක්කල බෝධිග්‍රම භාවනා මධ්‍යස්ථානාධිපති සද්ධර්‍ම කීර්ති ශ‍්‍රී ත‍්‍රිපිටකාචාර්ය ගෞරවනීය පූජ්‍යපාද කොරතොට වෙස්සභූ ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැනි විශිෂ්ට ප්‍රභූවර ගෞරවනීය හිමි පානන්වහන්සේලා යටතේ භාවනාව ප්‍රගුණ කරගැනීමට උපකාරවන පසුබිම සහ භාවනා කර්මස්ඨාන පිළිඹද මනා පුහුණුවක් ලබාගත් අයෙකි.



අභිධර්මය ඉගෙනීමේ වැඩ සටහන

විද්‍යෝදය පිරිවෙනෙහි ත්‍රපිටක ධර්ම අංශය සංවිධානය කරනු ලබන අභිධර්මාචාරිය උපාධිය සඳහා වන සමස්ථ විෂය මාලාවම ආවරණය වන පරිදි අභිධර්ම පාඨමාලාව මෙහෙයවනු ලැබේ. මෙය වර්ෂ තුනක පාඨමාලාවක් වන අතර, සෑම වර්ෂාවසානයකදීම ඊළඟ වාරය සඳහා වන විද්‍යෝදය පිරිවෙනෙහි විභාග සඳහා සිසුන් ලියා පදිංචි කරනු ලැබේ.
වසර තුනෙහි විභාග සාර්ථකව සම්පූර්ණ කරනු ලබන සිසුන් හට අභිධර්මාචාර්ය උපාධිය පිරිනමනු ලැබේ. පහත දැක්වෙනුයේ 2011 වසරේදී සාර්ථකව පාඨමාලාව සම්පූර්ණ කරනු ලැබූ ශිෂ්‍යයන් ලබාගත් සාමාර්ථයන්ය.

  • පූජ්‍ය වාරියපොළ විස්සුධි ස්වාමීන් වහන්සේ (ගෞරව)

  • පූජ්‍ය ඇකියාවල සුසීම ස්වාමීන් වහන්සේ (ගෞරව)

  • එස්. ඒ.රේණුකා මිය (ගෞරව)

  • එම්. ජි. ද සිල්වා මිය (ගෞරව)

  • උපුල් බණ්ඩාර සුබසිංහ මයා (ගෞරව)

  • දමිතා විතාරණ මිය (ගෞරව)

  • එස්. වීදියගේ මයා (ගෞරව)

  • සුසිලා විජේගුණවර්ධන මිය (ගෞරව)‍

  • චෙරායා අමරසිංහ මිය (ගෞරව)

  • එල්.ජි.ජයවීර මයා (පළමු පන්තිය)

  • එල්.ටී.ජී. නිර්මාලි රෝජිත් මයා (පළමු පන්තිය)

  • ඡායා රණසිංහ මිය (පළමු පන්තිය)

  • කේ.කේ.එස්. ජයවර්ධන මයා (පළමු පන්තිය) (1st)

  • සිරිසේන පුංචිහේවා මයා (පළමු පන්තිය)

මේ අය අතුරින් පහත නම් සඳහන් තිදෙනා පට්ඨාන සභාවට මහත් කිර්තියක් ඇතිකර දෙමින් ජාතික ලැයිස්තුවේ ඉහළම ස්ථාන අත්කර ගන්නා ලදී.

  • එස්.ඒ. රේණුකා මිය – ප්‍රථම ස්ථානය

  • පූජ්‍ය වාරියපොළ විසුද්ධි ස්වාමීන් වහන්සේ – ප්‍රථම ස්ථානය

  • එම්.ජි. ද සිල්වා මිය – තෙවන ස්ථානය

පාළි ඉගෙනීමේ වැඩ සටහන

ඉහළ සුදුසුකම් සහ පුහුණුවක් සහිත ගරුවරයකු විසින් සති අන්තයෙන්හිදි පාළි භාෂාව සහ පාළි සාහිත්‍ය උගන්වනු ලැබේ.

වර්තමාන ආචාර්ය මණ්ඩලය

  • පූජ්‍ය කොරතොට වෙස්සභූ ස්වාමීන් වහන්සේ ( ත්‍රිපිටකාචාර්ය / බී.ඒ)
  • උපුල් ගමගේ මහතා (අභිධර්මාචාර්ය)
  • ජයදාස කුමාරගේ මහතා (අධි නීතිඥ / එම්.ඒ)
  • ලසිත් නලන්ත මහතා ( පණ්ඩිත / එම්.ඒ)

කාල සටහන සහ විෂය නිර්දේශය

සඳුදා පෙ.ව. 8.45 – 09.45 – පට්ඨාන ප්‍රකරණය

9.45 – 11.00 – විභංඟ ප්‍රකරණය

සෙනසුරාදා පෙ.ව. 9.00 – 11.00 – අභිධර්මාර්ථ සංග්‍රහය

ප.ව. 1.30 – 03.30 – ධම්මසංඟණි ප්‍රකරණය

ප.ව. 3.30 – 05.00 – පාළි භාෂාව

ඉරිදා ප.ව. 2.00 – 04.00 – පාළි සාහිත්‍ය, මඡ්ඡිමනිකායේ මුල

පන්නාසකයේ සූත්‍ර












  • පට්ඨාන ධර්ම සභාව
  • 487/25, තිඹිරිගස්යාය පාර,
  • නාරාහේන්පිට, කොළඹ 5,
  • ශ්‍රී ලංකාව.
  • දුරකථන : 011-2580417